මුහම්මද් නබි – ජීවිත කාලය කෙටියෙන්

ලෝකයේ විවිධ සමාජයන් තමන්ගේ මග පෙන්වන්නා, ශාස්තෘවරයා ලෙස කව්රුන් හෝ කෙනෙක්ව පිළිගනී. එය ආගමික හේතු නිසා හෝ වෙනත් හේතු නිසා හෝ විය හැක.

බෞද්ධයන් බුදු හාමුදුරුවන්ව පිළිගන්නා අතර, කිතුනුවන් ජේසුස්, යුදෙව්වන් මෝසස් හා මුස්ලිම්වරුන් මුහම්මද් නබිව පිළිගනී.

සෑම පුද්ගලයෙක්ම තමන් පිළිගන්නා ශාස්තෘවරයා ලෝකයේ ශ්‍රේෂ්ටතම පුද්ගලයා හැටියට විශ්වාස කරය්. තමන් පිළිගන්නා ඒ ශාස්තෘවරයාට කව්රුන් හෝ වැරදි අවලාද කියනා කල්හි, දශමයක්වත් ඉවසන්න බැරි වීමත් සැබෑමය. මෙය ඇත්ත වුනත් මේ සෑම කෙනෙක්ටම හෝ වැඩි දෙනෙක්ට තේරුම් ගැනීමට අමාරු කාරණයක් නම් මට දැනෙන හැගීම් අනුන්ටත් ඒ විදියටම දැනෙන්න පුළුවන් කියන එකත්, මට රිදෙනවා නම්, අනුන්ටත් රිදෙන්න පුළුවන් කියන එකත්ය.

මුහම්මද් නබිගේ ජීවිත කාලය හෝ චරිතය ලියනවා නම්, පොත් ගණන් ලිවිය හැකි වුවත්, කියවන්නට වැඩි දෙනෙක් ලැදි කෙටි සාරාංශ වීම නිසා කෙටි ලේඛන වලට ගොනු කර ලිවීම ප්‍රයෝජනවත් වේ යය් සිතමි. පහත සඳහන් වන්නේ නබිගේ ජීවිත කාලය සංක්ෂිප්තව වැදගත් කාල අවදිවලට වෙන් කරන ලද්දකි.

ළමා කාලය

  • ඉපදුනේ අරාබියාවේ මක්කා නගරයේය.
  • පියාගේ නම අබ්දුල්ලාහ්ය, මව ආමිනාය.
  • ඉපදීමට පෙරම පියා ලොවෙන් සමු ගනී.
  • මව සහ සීයා හදා වඩා ගන්නා ලදී.
  • වයස 6 දී මවද ලොවෙන් සමු ගනී.
  • සීයා ඉතා ආදරයෙන් හදා වඩා ගනී, නමුත් වසර කිහිපයකට පසු ඔහුත් මිය යය්.
  • එතැන් පටන් ඔහුව බලා ගත්තේ ඔහුගේ බාප්පා වූ අබු තාලිබ් ය. මුහම්මද් නබි වයස 52 දක්වා ඔහු ජීවත් වෙය්.

තරුණ කාලය

  • කුඩා කල සිටම සියල්ල ඔහුව අල් අමීන් (විශ්වාසවන්තයා) සහ අස් සාදික් (සත්‍යවන්තයා) යන නම්වලින් අමතය්. හේතුව ඔහු සෑම විටකම ඇත්ත කතා කිරීමත්, සෑම විටම අනුන්ගේ විශ්වාසය දිනා ගැනීමත්ය.
  • අසල්වැසියන් තම ගෙදරින් පිට යන විට, ඔවුන්ගේ වටිනා දේවල් ආරක්ෂාවට මුහම්මද් නම් මේ පුද්ගලයාගේ භාරයේ තබා යෑම සිරිතකි. ඒ ඔහු සෑම විටකම විශ්වාස කල හැකි පුද්ගලයෙක් වීම හා ඔහු සතුව තිබු උසස් ගුණාංග නිසාය.
  • ඔහු එඬේරකුව කාලයක් තම රැකියාව කළේය. (සටහන: ලෝකයට පැමිණි සියලු නබිවරුන් යම් කාලයක් එඬේරකුව ජීවත් වී ඇති බව මුහම්මද් නබි පසු කලෙක සඳහන් කරය්)

විවාහය

  • මුහම්මද් නබි වයස අවුරුදු 25 දී කදීජා නම් ස්ත්‍රීය විවාහ කර ගනී.
  • එවිට ඇගේ වයස අවුරුදු 40. ඇය ඒ වන විටත් දෙවරක් විවාහ වී වැන්දබු වූ ස්ත්‍රීයකි.
  • මුහම්මද් නබි අවුරුදු 27ක් ඇය සමග ජීවත් වූ අතර ඔහුගේ වයස 52 දී ඇය ලොවෙන් සමු ගනී.
  • මුහම්මද් නබි දෙවන විවාහයක් කර ගත්තේ ඊට වසර දෙකකට පසුවය. එතෙක් ඔහු ජීවත් වුනේ තම පලමු සහ එකම භාර්යාව වූ කදීජා සමග පමණි.

නබිත්වය

  • තම වයස අවුරුදු 40 වන විට ඔහු සමාජයේ පිරිහීම සහ මිනිසුන්ගේ නොහොඹිනා ක්‍රියා කලාපය ගැන ඉතා කනස්සල්ලට පත් විය.
  • ඊට සමගාමීව සිදුවීම් කීපයක්ම සිදුවීමට පෙරම ඔහු යම් විදිහකින් දැන් ගනියි.
  • කනස්සල්ලට පත් ඔහු සමාජයෙන් ඈත්ව ගොස් තනිව සිටීමට පටන් ගනී.
  • ඒ මක්කාවෙන් පිටත ඇති නූර් නැමැති කන්ද උඩ ඇති හිරා නමැති ගුහාව තුලය.
  • දින ගනන් සතිගනන් ගෙවී ගියේය.
  • දවසක් විශේෂ සිදුවීමක් සිදු වෙයි. එය මිනිස් ඉතිහාසයේ අති සුවිශේෂීම සිදුවීම බවට පත් වෙයි.
  • ගුහාවෙන් පිටතට පැමිණියේ ඉතා භයෙන් වෙව්ලමිනි. තමන්ගේ ගෙදරට පැමිණි ඔහු, තමාගේ භාර්යාව වූ කදීජා හට සිදු වීම පවසා සිටියේය. භියෙන් වෙව්ලමින් සිටි ස්වාමි පුරුෂයාව අස්වැසු ඇය, ඔහුව තම නෑයෙකු වූ වරකත් ඉබ්නු නව්ෆල් නැමති පුද්ගලයා වෙත ගෙන ගියේය.
  • වරකත් ඉබ්නු නව්ෆල් යනු ආගමික පොත් පත් ගැන හොඳ අවබෝධයක් තිබු පුද්ගලයෙකි.
  • සිදු වීම සවිස්තරාත්මකව ඇසූ ඔහු පවසා සිටියේ,
    • ඔබව හමුවූ තැනැත්තා දෙවියන්ගෙන් පණිවිඩ ගෙන එන ජිබ්රීල් නම් දේව දුතයාය.
    • ජේසුස්, මෝසස්, ඒබ්‍රහම් සහ අනිත් සෑම නබිවරුන්ටත් ඒක දෙවියන්ගේ පණිවිඩ ගෙන ගියේ ඔහුමය.
    • ළඟදීම ඔබට මිනිසුන් වෙත ප්‍රචාරය කිරීමට දෙවියන් අණ කරය්.
    • ඔබ මේ ඒක දේව පණිවිඩය ඔබේ ජනයාට ගෙන යන විට ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරය්. ඔබව මේ නගරයෙන් පිටුවහල්ද කල හැක.
    • එවිට මම ජීවතුන් අතර සිටියොත්, මම ඔබට සම්පූර්ණයෙන් සහය වෙමි.
  • ඔහු පැවසූ ආකාරයෙන්ම දින කිහිපයකට පසු, ජිබ්රීල් නැවතත් පණිවිඩ ගෙන එය. නැවත නැවතත් එය්. ඒ සෑම වතාවකම අවස්ථාවට, කාලයට,උචිත ඔවදන් රැගෙන එය්.
  • මිනිසා ජීවත් විය යුතු ආකාරය, හොඳ සහ එහිම ස්ථිරව සිටීමේ වැදගත්කම, නරක සහ එය්න් ඈත්ව සිටීමේ වැදගත්කම ඒ ඔවදන් වල හරය වුවේය.
  • මෙය නබිගේ ජීවිතයේ අවසානය දක්වාම පහල වුවේය. ඒ අවුරුදු 23ක්පුරාවටය.

 

නබිත්වයෙන් පසු මක්කා ජීවිතය 

  • මුහම්මද් නබි තම වයස අවුරුදු 53 දක්වා මක්කාවේ ජීවත් වෙය්.
  • නබිත්වයෙන් පසු අවුරුදු 13 ඉතාමත්ම කටුක කාලයක් බවට පත් වෙය්.
  • නව්ෆල් පැවසු ආකාරයට නබිගේ ලඟම ඥාතීන් සහ ලඟම හිත මිතුරන් කිහිපයක් හැරෙන්න, නිදහස් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් ඔහුව පිලි නොගනිය්.
  • අනෙකුත් අය අතරින් වැඩි දෙනා වහලුන් හා සමාජයේ පහල කුල සහ ගෝත්‍ර වලට අයත් වෙය්.
  • මේ වහලුන් සහ පහල කුල වලට අයත් ඉස්ලාමය වැළඳගත් අය අනෙකුත් සමාජයේ ඉහල තත්වයේ සිටින්නන් විසින් හිරිහැරයට පාත්‍ර වෙය්.
  • මෙය මුස්ලිම්වරුන්ගේ ඉතාමත්ම තියුණු පරීක්ෂණයට භාජනය වූ කාලයය්.
  • සුමය්යා නැමති ස්ත්‍රීය ඉතාමත් කෘර ලෙස වද හිංසා වට ලක් වෙය්. ඔවුන්ගේ අණ වුයේ ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන ලෙසත්, මුහම්මද්ගේ පණිවිඩය බොරුවක් ලෙස පවසන සෙලත්ය.
  • ඇය දිගින් දිගටම පවසා සිටියේ දෙවියන් එක් කෙනෙකු පමණක් බවත්, පිළිම වන්දනය වැරදි බවත්, ඉස්ලාමය සියලු දෙනාගේ අයතිවාසිකම් අගය සහ ආරක්ෂා කරන ආගමක් බවත්, ඇය මොනම හේතුවක් නිසාවත්, ඉස්ලාමය ප්‍රතික්ෂේප නොකරන බවත්ය.
  • අවසානයේ ඇයව මරා දමන්නේ ඉතාමත් කෘර ලෙසය.
  • බිලාල්, ශුඅය්බ් වැනි වහලුන්ට සිදු වුනේද කෘර හිංසාවලට ලක් වීමය.
  • අබූ බකර් නමැති නබිගේ අනුගාමිකයෙක් ඔවුන්ව මුදල් දී නිදහස් කර ගනී.
  • මේ හිංසනයෙන් ඔවුන්ව බේරීමට මුහම්මද් නබි ඔවුන්ගෙන් 100කට ආසන්න පිරිසක් මක්කාවෙන් පිටත ඇබීසිනියාවට පිටත් කර යවය්.
  • මුහම්මද් නබි දිගින් දිගටම තමන්ගේ ඉස්ලාමීය ප්‍රචාරය මක්කාවේ මිනිසුන් අතරත්, මක්කාවට පිටින් පැමිණෙන මිනිසුන් අතරත් කරගෙන යය්. ඔහුගේ සහයට නිදහස් මිනිසුන් ලෙස ඉස්ලාමය පිළිගත් කිහිප දෙනෙක් පමණක් සිටිය්.
  • මෙම අවුරුදු 13ක කාලයක් පුරාවට මුහම්මද් නබි මක්කාවෙන් පිටට ප්‍රචාරය ගෙන ගියේ නැත(තාය්ෆ් හැර).

 

මදීනාවෙන් පැමිණි වන්දනාකරුවන්

  • අවුරුදු 13ක කාලයක් ඉතාමත් කටුක ජීවිතයකට ලක්කර, ඉවසීම උච්ච මට්ටමට ඒමට සැලැස්සු දෙවියන්, මුහම්මද් නබිගේ නොපසුබට උත්සාහයට ප්‍රථිපල ලබා දීමට සලස්සය්.
  • මුහම්මද් නබි මක්කාවේ සිටියදී, ඉතාමත් ලස්සන, ගස් කොළවලින් පිරි ප්‍රදේශයක් හීනෙන් දකී.
  • මේ අතරතුර මුහම්මද් නබි පිටින් පැමිණි මිනිසුන්ට ඉස්ලාමය ප්‍රචාරය කරමින් සිටියදී, මදීනාවෙන් පැමිණි 12 දෙනෙකු නබිගේ ඒක දේව සංකල්පය, ඒ දෙවියන් මිනිසුන් ජීවත් වීමට අපේක්ෂා කරන ආකාරය ගැන ඇසීමෙන් කුතුහලයට ලක් වෙය්.
  • ඔවුන් ඉස්ලාමය පිලිගනිය්. මදීනාවට ගොස් එහි ඉස්ලාමය පැතිරවීමටත් පොරොන්දු වෙය්.
  • ඔවුන් මදීනාවට පිටත් වී යය්. ඉස්ලාමය ඉගැන්වීමට නබිගේ අනුගාමිකයෙක් වූ මුස්අබ් නම් තරුණයාද  මදීනාවට පිටත් වෙය්.
  • ඔහුගේ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මදීනා  වාසීන් විශාල පිරිසක් ඉස්ලාමය වැළඳ ගනී.
  • වරක් මදීනාවේ නායකයන් පිරිසක් ඉස්ලාමය ශීග්‍රයෙන් තම නගරයේ පැතිර යාම ගැන කතා කරය්. ඊට හේතුව වන මුස්අබ්ට හානි කිරීමට ශක්තිමත් කෙනෙක් වූ උසය්ද් ඔවුන් අතරින් යවය්.
  • මුස්අබ්ව දැක නරක අන්දමින් බැන වැ+දීමෙන් පසු, අතේ තිබු ආයුධය දික් කර ඔයා අපේ සමාජයට ඇවිත් අපිව දෙකඩ කරන එක අපිට තවත් පිළිගන්න බැහැ. ඔයාට ජීවත්ව ඉන්න ඕනේ නම්, ඔය වැඩේ නවත්වල මේ නගරයෙන් පිටවෙන්න කියා කියය්.
  • එයට මුස්අබ් සිනා මුසු මුහුණින් පවසන්නේ ඉඳගෙන මන් කියන දේට ඇහුන් කන් දෙන්න. මන් කියන දේ හරිය් කියා ඔබට දැනෙනවා නම් පිළිගන්න. ඔබට පිළිගන්න බැරි නම්, මම මෙහෙන් පිට වෙන්නම් මගේ ප්‍රචාරය නවත්වල.
  • ඊට එකඟ වූ ඔහු, ඉවසීමෙන් සවන් දෙය්. මුස්අබ් ඉස්ලාමයේ ප්‍රධාන කාරණා කිහිපය පවසා, අල් කුරානයෙන් වදන් කිහිපයක්ද පාරායනය කර දක්වය්. උසය්ද් වචනයක්වත් කතා කිරීමට පෙරම ඔහුගේ මුහුණින් ඔහු ඉස්ලාමයට ආකර්ෂණය වූ බව පෙනී යය්.
  • මේ කියමන් ඉතාමත් ලස්සනය, තාර්කිකය, අතිශය්න්ම ඇත්තය. මේ ආගම වැළඳ ගැනීමට මම මොනවද කරන්න ඕනේ. උසය්ද්ගේ ප්‍රතිචාරය වුයේ එයය්.
  • ස්නානය කර, පිරිසිදු ඇඳුම් ඇඳ, ඒක දෙවියන් සහ ඔහුගේ දුතයන් පිළිබඳ සාක්ෂි දරන්න, පවසන්න. ඉන් පසුව සලාතය ඉටු කරන්න කියා මුස්අබ්  උසය්ද්ව ඉස්ලාමය වැළඳ ගැනීමට හේතු වෙය්.
  • සිද්දිය දැනගත් තවත් මදීනාවේ නායකයකු, කේන්තියට පත් වෙය්. ඔහුද උසය්ද් මුලින් කල ආකාරයටම මුස්අබ්ට තර්ජනය කිරීමට පැමිනෙය්. ඔහු කලේද උසය්ද් කල දේමය, ඔහුත් ඉස්ලාමය වැළඳ ගනී.
  • අවුරුද්දකට නොඅඩු කාලයකදී මුස්අබ් මදීනාවේ අති විශාල ප්‍රමාණයක් ඉස්ලාමය වැළඳ ගැනීමට  හේතු වෙය්.
  • ඔහු නැවත මක්කාවට පැමිණ නබි වෙත මදීනාවේ තත්වය විස්තර කර දක්වය්.
  • හරියටම අවුරුද්දකට පසු, මදීනා වාසීන් 80 දෙනෙකු නැවතත් මක්කාවට පැමිනෙය්. ඔවුන් මුහම්මද් නබි ඇතුළු මුස්ලිම් සියල්ල මදීනාවට එන ලෙස ආරාධනය කර සිටිය්.

මදීනාව වෙත සංක්‍රමණය (හිජ්රත්)

  • තමන්ගේ මැවුම්කරු මුහම්මද් නබිට මක්කාවෙන් පිට වීමට අවසර ලබා දෙය්.
  • මුහම්මද් නබි මුලින්ම මුස්ලිම් සියල්ල මක්කාවෙන් පිටත් කර මදීනවට යවය්. ඒ කුඩා කණ්ඩායම් හැටියටය.
  • මේ කණ්ඩායම් මක්කාව අත හැර ගියේ අනෙකුන්ගේ ඇස්වලට නොපෙනීය. වැඩි දෙනෙක් රෑ කාලයේදීය.
  • ඇතැම් කණ්ඩායම් ප්‍රශ්නයක් නොමැතිව ගමන නිමා කරය්. තවත් කණ්ඩායම් මක්කාවාසී කුරය්ශිවරුන්ගේ ග්‍රහණයට හසු වෙය්. ඔවුන්ගෙන් ඇතැමුන් සතු සියලු දේ කුරය්ශිවරුන් උදුරා ගනිය්. ඇතැමුන්ව නැවත මක්කාවට ගෙනත් හිරිහැර කරය්.
  • හැකි සියලු දෙනාම පිටත් කර හැර, මුහම්මද් නබි තම කිට්ටුම මිතුරා සහ අනුගාමික වූ අබු බකර් සමඟ මක්කාව අත හැර යාමට කටයුතු සූදානම් කරය්.
  • මෙය දැනගත් කුරය්ශිවරුන්, මුහම්මද් නබිව මැරීමට සැලසුම් කර, දවසක් රෑ ඒ සඳහා සෑම ගෝත්‍රයකින්ම කෙනෙකු බැගින් මුහම්මද් නබිගේ ගෙය වට කර ඔහුව මරා දැමීමට සූදානම් වෙය්.
  • දෙවියන්ගේ උදව්වෙන් ඉතාමත් ආශ්චර්ය ලෙස ගෙය්න් කිසි අනතුරක් නැතුව මුහම්මද් නබි පිටවී අබු බකර්වද සමඟ තමන්ගේ මදීනා සංක්‍රමණය සිදු කරය්(මෙම අවස්ථාව වටා කොතෙකුත් සිදුවීම් තිබුනද, පිටුව කෙටිව තිබීමේ අරමුණින්, සාරාංශය පමණක් මෙහි සඳහන් කර ඇත )
  • ඔවුන් දෙදෙනා මදීනාවෙන් පිටත, ගුහාවක දවස් කිහිපයක් සැඟවී සිටිය්. ඉන් පසුව ගමන් අරඹා තව දින ගණනකින් පසුව මදීනාවට ලඟා වෙය්.
  • දින ගණන් මුහම්මද් නබිගේ බලාපොරොත්තුවෙන් සිටි මදීනාවාසීන් ඔහු දුර එනු දුටු විට ඉතාමත් සතුටින් දෙවියන්ට ස්තුති කර මුහම්මද් නබිගේ ගුණ ගායනා කරමින් ඔහුව පිළිගනී.
  • මෙම සිද්දිය හිජ්රත් එනම් සංක්‍රමණය ලෙස හඳුන්වය්.
  • මෙය ඉතිහාසයේ විශේෂ සංදිස්ථානයකි. මෙය ශ්‍රේෂ්ට දේශයක් ගොඩ නැගීමේ පළමු පියවරය්.

මදීනා ජීවිතය 

  • මුහම්මද් නබි මදීනාවේ මුස්ලිම් වරුන්ව දේව භක්තියෙන් පිරි, ඉතා විනීත, ගුණ ගරුක, ශක්තිමත් සමාජයක් කිරීමට අවශ්‍ය සියලු විධි විධාන සහ මඟ පෙන්වීම් ලබා දෙය්.
  • මුස්ලිම් වරුන් මදීනාවේ දිනෙන් දින ශක්තිමත් සමාජයක් හැටියට නැගී සිටිය්. මදීනාවේ අවට කුල හා ගෝත්‍ර වෙත ඉස්ලාමය පැතිර යය්. ඇතැම් ප්‍රදේශවලින් නායකයන් මුහම්මද් නබිව දැකීමට පැමිනෙය්. අලුත් ආගම ගැන අසා දැන ගනිය්. එහි අන්තර්ගතය අසා විශ්මිත වී ඉස්ලාමය වැළඳ ගනී. තම සමාජයට ගොස්, මුළු කුලයම, ගෝත්‍රයම ඉස්ලාමය දෙසට ආකර්ෂණය කර ගනිය්.
  • මුස්ලිම්වරුන් මදීනාවේ ශක්තිමත් වීම දරාගත නොහැකි, මක්කා වාසී කුරය්ශිවරුන් මුස්ලිමුන්ට එරෙහිව යුධ කිරීමට ආරම්භ කරය්. මෙසේ මුල අවුරුදු 6 තුල සටන් 3ක් සිදු වෙය්.
  • පළමු සටන(බදර්) මුස්ලිමුන් 313 කුරය්ශිවරුන් 1000ක් සමඟ සටන් කර විශිෂ්ට ජයක් ලබා ගනිය්.
  • දෙවන සටන(උහද්) දෙපිලටම එක හා සමාන ලෙස හානි/අලාභ  සිදු වෙය්. දිනුමක් පැරදුමක් නොමැතිව යුද්දය හමාර වෙය්.
  • තුන්වන සටන(හන්දක්) කුරය්ශිවරුන්, යුදෙව්වන් සහ තවත් පිල් කිහිපයක් එකතු වී මුස්ලිම්වරුන්ව මුලිනුපුටා දැමීමට වෙර දැරීමකි. මුස්ලිම්වරුන්ට දෙවියන් කොතරම් උදව් කලාද කියතොත්, කිසිදු යුද්දයක් නොවීම, සතුරන්ට පලා යාමට සිදු විය. දින ගණනක් මදීනාව වටකළ සතුරන්, මදීනාව වටා ආරක්ෂක උපක්‍රමයක් ලෙස මුස්ලිම්වරුන් කපා තිබු අගල පසුකර ඒමට නොහැකිව දින ගණනක් නිකම්ම සිටීමට සිදු විය. දෙවියන්ගේ ආශ්චර්ය, සතුරන් සිටි පෙදෙසට ඉතා සැර සුළඟ මෙන්ම, වැස්සද, ඒ නිසා වැඩි දෙනෙක් අසනීප වීමද සතුරන්ට වැඩි දිනකට දරා ගැනීමට හැක්කක් නොහැකි විය. දින ගණනකට පසු, කිරය්ශිවරුන්ගේ නායක අබු සුෆියාන් තමන් ආපසු යන බවත්, රැඳි සිටීම මෝඩ වැඩක් කියමින් පිටවී යය්. අනෙක් අයද ඔහුව අනුගමනය කර යය්. යුදව්වන්ද, අනෙකුත් ගෝත්‍රද ඉන් පසු පිටවී යය්. යුද්දයක් නොවීම විශාල ජයක් ලැබුනාට සමාන හැඟීමක් මුස්ලිම්වරුන්ට දැනුනි.
  • ඉන් පසු කුරය්ශිවරුන් සමඟ යුද්ද ඇති වුයේ නැත. දිනෙන් දින කුරය්ශිවරුන්ගෙන් පුද්ගලයන් කිහිප දෙනා බැගින් මදීනාව වෙත පැමිණ ඉස්ලාමය වැළඳ ගනී. කුරය්ශිවරුන් දිනෙන් දින දුර්වල වීමට පටන් ගනිය්.
  • හිජ්රි 7 වන අවුරුද්දේදී මුහම්මද් නබිට දෙවියන් තම අනුගාමිකයන් සමඟ මක්කාවට ගොස් වන්දනා කිරීමට අණ කරය්.
  • මුහම්මද් නබි ඇතුළු සිය ගණනක් මුස්ලිම්වරුන් මක්කාවට කිට්ටුවත්ම, කුරය්ශිවරුන් ඔවුන්ව මඟ අවහිර කර ගිවිසුමක් අත්සන් කර ගෙන, නැවත හරවා යවය්. මුස්ලිම්වරුන් විශාල පිරිසක් මේ සිද්දියට අකමැති වුවද නබිගේ ඔවදනට අවනත වී වන්දනා නොකර ආපසු හැරී යාමට එකඟ වෙය්. ගිවිසුමේ ඇති කොන්දේසි සියල්ල කුරය්ශිවරුන් ඔවුන්ට වාසි ගෙන දෙන ආකාරයට සකස් කර තිබුණි. මුහම්මද් නබිට දෙවියන් අවධාරණය කර සිටින්නේ මේ අවස්ථාවේ මුස්ලිම්වරුන් ඉවසීමෙන් කල පරිත්‍යාගය වටිනා බවත්, මුස්ලිම්වරුන්ට නුදුරු දිනකදී මක්කාව සම්පුර්ණයෙන්ම මුස්ලිම්වරුන්ගේ අණසකට පත් කර දෙන බවත්ය.
  • ගිවිසුමට අනුව තව අවුරුදු 5ක් යන කන්, යුද්ද නොකරන බව සඳහන් කර තිබුණි.
  • කුරය්ශිවරුන් ගැන කාලයකට කලබල නොවිය යුතු තත්වයක, මුහම්මද් නබි රටවල් කිහිපයකම පාලකයන්ට ලියුම් යවය්. ඒ ඉස්ලාමයේ කරුණු විදහා දක්වමින් එය පිළිගන්නා ලෙසත් සියල්ල මවා පෝෂණය කරන්නා වූ ඒකීය දෙවියන්ව පමණක් වැඳීමටත්, සියලු නපුරට එරෙහිව නැගී සිටීමටත් එක්වන ලෙසය.

මක්කා ජයග්‍රහණය 

  • හිජ්රි 8 වන විට, කුරය්ශිවරුන් ගිවිසුමේ ඇති කොන්දේසි කඩ කිරීමේ හේතුවෙන්, මුහම්මද් නබි 10000ක පිරිසක් සමඟ මක්කාව දෙසට ගමන් කරය්. කිසිදු යුද්දයක් නොකරම සම්පුර්ණ මක්කාව තමන්ගේ පාලනයට පාත්‍ර කරගනී.
  • මුහම්මද් නබි සහ ඔහුගේ අනුගාමිකයන්ට නොයෙකුත් වද, හිංසා, පීඩා කල මේ කුරය්ශිවරු, මක්කාවාසීහු, කුතුහලයෙන් බලා සිටියේ ඔවුන්ට කුමක් වීමට යන්නේද කියා භියෙනි.
  • මක්කාවට ඇතුළු වූ මොහොතේ පටන් මුහම්මද් නබි, තමන්ගේ ඔටුවාගේ පිටේ සිටියේ, තමන්ගේ හිස ඉතා පහත් කරමිනි. ඔහු දිගින් දිගටම දෙවියන්ට ස්තුති ප්‍රශංසා කරමින් ක:බාව වටේ ගමන් කළේය.
  • ඉන්පසු ඔහු මක්කාවාසීන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. මෙතරම් කරදර, දුක් දුන්න ඔබලාට අද මම කුමක් කරමිය් කියා සිතනවාද ?
  • ඊට කිහිප දෙනෙකු සෙමින් පැවසුවේ, ඔබ ඉතා කාරුණික පුද්ගලයෙක්, ඔබේ පියා කාරුණික පුද්ගලයෙක්. හොඳක් මිස වෙනෙකක් අපි බලාපොරොත්තු නොවන්නෙමු කීවේය.
  • ඉන්පසු කරන්නට යනදේ ගැන මුහම්මද් නබි කීවේය. ඇසු සියලු දෙනා විශ්මයට පත්වූවේය. අදහා ගැනීමට නොහැකි විය.
  • ඔබලාට මම පවසන්නේ නබි යූසුෆ් ඔහුගේ සහෝදරයන්ට පැවසු ඒ වදන්මය. ඔබලා සියලු දෙනාට සමාව දෙන්නෙමි. අදින් පසු කිසි කෙනෙකු ඒ කල දේවල්වලට වග කිව යුතු නැත. ඔබලා සියලු දෙනා සම්පුර්ණයෙන් නිදහස්. අපි ඔබෙන් පළිගන්නේ නැත.
  • තමන්ට දඬුවම් ලැබෙය් කියා සිතු සියලු දෙනා විශ්මයට පත් විය. භියෙන් සිටි සියලු දෙනා රොතු පිටින් මුහම්මද් නබිව මුණ ගැසීමට ආවේය. ඉස්ලාමය ගැන අසා එවෙලේම ඉස්ලාමය රොතු පිටින් වැළඳ ගත්තේය.
  • මුස්ලිම්වරුන් ඇතුළු වෙනු දුටු ඇතැම් පිරිසක් ඒ වන විටත් මක්කාවෙන් පිටවී වෙන ප්‍රදේශ වලට පැන යාමට පටන් ගෙන තිබිණි. ඉන් ඇතැමෙක් මුස්ලිම්වරුන්ට් ඉතා දරුණුවෙන්ම අපරාධ කල අයය.
  • මුහම්මද් නබි ඇතුළු මුස්ලිම්වරු වෛරයක්, පලිගැනීමක් නොමැතිව සියලු දෙනාට සමාව දෙන බව දැනගත් මේ පලායන්නන් නැවත මක්කවට පැමිණියේය. මුහම්මද් නබිට කතා කර සමාව ඉල්ලුවේය. මුහම්මද් නබි ඒ අයටත් සමාව දුන්නේය.
  • ඉන් එක් අයෙක් ඉක්රිමා නමැති අබු ජහ්ල් ගේ පුත්‍රයාය. මොහු නබිගෙන් සමාව ලැබීමෙන් පසු ඉස්ලාමය වැළඳ ගනිය්.
  • ඔහු එවිට පැවසුවේ, ඔබ සෑම විටම කැඳවුම් කලේ සත්‍ය කරා පමණි. ඔබ අණ කර සිටියේ හොඳ පමණකි. ඔබ ඉස්ලාමයට පෙරද අප අතරේ ජීවත් වුනේය. එවිට අප අතරේ සිටි සත්‍යවන්තයාද, විශ්වාසවන්තයාද ඔබමය.
  • මක්කාව සහ ඒ අවට නගරයන් එකෙන් එක ඉස්ලාමය පිළිගනී. ඉස්ලාමීය රාජ්‍ය දිනෙන් දින වැඩුණේය.
  • මුහම්මද් නබි නැවතත් මදීනාව කරා පැමිනෙය්.

අවසාන කාලය හා සමුගැනීම

  • මුස්ලිම් රාජ්‍ය දිනෙන් දින වැඩීමට පටන් ගත්තේය. අවට තිබූ නගර සහ රාජ්‍ය ඉස්ලාමීය රාජ්‍යයේ කොටස් බවට පත් වුනේය.
  • කලින් කලට, අවස්ථාවෙන් අවස්ථාවට උචිත ලෙස දෙවියන් අල කුරානය කොටස් වශයෙන් මුහම්මද් නබි මගින් මිනිස් සංහතියට පහල කළේය. ඒ එක් එක් ප්‍රශ්නයට පිළිතුරු ලෙසද, හොඳ නරක පැහැදිලි කිරීම් ලෙසද, පෙර සිටි සමාජයන්ගේ සිදුවීම් හා ඒවායෙන් ගත යුතු ඉගැනීම්ද සංගත විය.
  • මුහම්මද් නබි තම වයස 63 වන වියෙහිදී මක්කාව වෙත ගොස් හජ් වන්දනාව කරන ලෙස දෙවියන් විසින් අණ ලැබ, තම අනුගාමිකයන් සමඟ ඒ සඳහා මක්කාවට එය්.
  • මෙය නබිගේ ප්‍රථම සහ අවසාන හජ් වන්දනාවය්.
  • මෙම අවස්ථාවේදී අනුගාමිකයන් 124000(එක් ලක්ෂ විසි හතර දාහක්) එක්වී සිටිය්.
  • නබි මෙහිදී වක්‍ර ආකාරයෙන් කිහිප වතාවක්ම තමන් වැඩි කල් ජීවත් නොවන බවත්, ළඟදීම තම මැවුම්කරුවා වෙත යන බවත් පැවසුවේය.
    • එහිදී නබිවරයා සියල්ලන්ට පැවසුවේ, තමන් ඒ හජ් කටයුතු කරන අනුපිලිවෙල සහ ආකාරය ඉතාමත් විමසිල්ලෙන් බලා ඉගෙනගන්නා ලෙසය. තමන් ලබන වසරේ ඔවුන් අතරේ සිටීම අනිත්‍ය බව පැවසුවේය.
    • අරෆා නම් ස්ථානයේ පැවති දේශනයේදී, අල් කුරානයේ අවසාන වාක්‍යයන්ගෙන් එකක් පහල වුයේය. එය නබි ප්‍රසිද්ධියේ කියා දැක්වූයේය. එහි දෙවියන් පවසය්
      “අද දින මා ඔබගේ ධර්මය සර්ව සම්පුර්ණ කලෙමි. ඔබගේ ධර්මය ලෙස ඉස්ලාමය ඔබ වෙත තෝරා දී ඇත්තෙමි”
      මෙය නබි වරයාගේ නික්ම යාම සඳහන් කිරීමක් ලෙස තේරුම් ගත්තේ කිහිප  දෙනෙක් පමණි.
  • මුහම්මද් නබි හජ් වන්දනයෙන් පසු නැවත, මදීනාවට පැමිනෙය්.
  • එතැන් සිට මාස තුනක් කිට්ටු වත්ම, වරක් නබි ඉතා දරුණු හිසරදයකින් අසනීප වෙය්.
  • එතැන් සිට ඔහු ජීවත් වුණේ, හරියටම සති 2කි, දින 14කි.
  • මේ දින කිහිපය තුල තම අනුගාමිකයන්ට කිහිප වතාවක්ම කෙටි දේශනා කර වැදගත් දේවල් කිහිපයක්ම මතක් කර දුන්නේය. එය්න් කිහිපයක් නම්,
    • අල්ලාහ් හැර වෙන කිසිවෙක්/කිසිවක් නොනමදින්න
    • යුදෙව්වරු සහ ක්‍රිස්තියානිවරු තම නබිගේ අභාවයෙන් පසු, ඔහුගේ සොහොන නැමදුම් ස්ථානයක් කර ගත්තෝය, එමගින් දෙවියන්ගේ කෝපයට පාත්‍ර වුවෝය. මගේ අභාවයෙන් පසු, මගේ සොහොන එසේ නැමදුම් ස්ථානයක් කර නොගන්න.
    • පස්වේල් සලාතය නොකඩවා ඉටුකරන්න.
    • තමන්ගේ ධනයෙන්, වස්තුවෙන් දුගීන්ට උදව් උපකාර කරන්න.
    • තමන් යටතේ සිටින සියල්ලගේ අයතිවාසිකම් රැකදෙන්න.
  • හරියටම අසනීප වී 14 වන දින, මිනිසුන්ගෙන් ශ්‍රේෂ්ටතමයන් වූ මුහම්මද් නබි තම සියලු යුතුකම් ඉටුකර, මිනිස් සංහතියට දෙවියන්ගේ අවවාද  අනුශාසනා වචනයෙන් පමණක් නොව, ක්‍රියාවෙන්ද පෙන්න දී, තම 63 වන වියෙහිදී මෙලොවින් සමු ගත්තේය.

 

About nilufernilar

I'm a Sri Lankan Muslim. Born in Colombo, studied in a Buddhist school, brought up among the people who are in multiple ethnic and religious backgrounds.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a comment